Saturday, May 24, 2014

බංකුව කියූ කතාව


බංකුව කියූ කතාව

එපා වෙලා ඉන්නට එක තැනට වෙලා
මුහුදු හුළං අවු වැසි මට එපා වෙලා
ඉපදුනු දා පටන් මම මෙතනාටම වෙලා
හිටියේ කතාවට කවුරුත් එයිද කියා

ඇත දිගටම මා වැනි උන් තව පේළී
උන්ටත් කතන්දර ඇත කියනට මල්ලී
පුලුවන් වුනොත් මෙතනින් යනවිට මල්ලී
උන්ටත් කතා කරලා පලයං මල්ලී

පුංචි දරුවො නම් හැමදාමත් එනවා
උන්ගේ නැ‍ටුම් බලලා මම තු‍ටු වෙනවා
මටත් ඇවිද යන්නටනම් සිත් දෙනවා
දෙපා ගැට ගසා නැතිනම් මම යනවා

ගැහැණු මිනිස්සුන් එයි ඇති බෝ කට කාර
මුහුදේ සද්දේ පැරදෙයි උන්ගේ හඬට
තල් අත්තට බොරළු කැට වදිනා ලෙසට
ඉවසනු කෙලෙස උන්ගේ ඇති කච කචය

ඉඳහිට මහළු මිනිසුන් මා වෙත එනවා
ඈත මුහුදෙ ‍රැළි ගනිමින් ලත වෙනවා
දිසාපති පුතුන් පු‍ටුවල වැජඹෙනවා
මහළු මව්පියන් මහමඟ ලත වෙනවා

සක්යා රොටරි පන්තිත් මෙහි තියෙන්නේ
පංති සල්ලි අඹ අන්නසි වී කන්නේ
පත්ත්නි මවුන් විලසින් ගෙදරින් එන්නේ
දහ අට සන්නි මෙහි විත් උන් නටන්නේ

හයි ෆයි කපල් හවසට රෑටත් එනවා
අද එක්කෙනෙක් හෙට තවෙකෙක් හා එනවා
සුරතේ වෙලී හෙමිහිට එහෙ මෙහෙ යනවා
ඇවිදින් එකම පෙම් බස් ටික මුමුණනවා

තනිකඩ එවුන් පැය ගනනක් මෙතනට වී
එහෙ මෙහෙ බලයි කරනට කිසි දෙයක් නැතී
අනේ මටත් කෙල්ලෙක් සිටියනම් සිතී
පුරුදු තනිකමෙන් ආපසු ගෙදර යතී

ජීවිත එපා වී සමහරු එනවා
හෙමින් සැරේ ගොස් මුහුදට බිලි වෙනවා
ඒවා හෙමි හෙමින් අමතක වී යනවා
තවත් දිනක් මේ ලෙසටම නිම වෙනවා

-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-

No comments:

Post a Comment

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.